සර්වජන චන්ද ක්රමයේ අපි නොදැක්ක පිළිකාවට පමා නොවී ප්‍රතිකාර කරමු
දේශපාලන පක්ෂ වල නායකයින් පත් වීම, එහි දුර කාලය , ජනාධිපති වරණ යට අපේක්ෂයින් පත් කිරීම, පාර්ලිමේන්තුව මැතිවරණ වලට අපේක්ෂයකයින් පත් කිරීම සඳහා කටයුතු සිදුකල යුතු ආකාරය පිලිබඳව නියමයන්/ක්‍රම වේදයන්/ නිර්නායකයන් ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවට අඩංගු විය යුතුමය.
මේ දවස් වල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම හෝ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන බොහෝ
තැන වල කතා වෙනවා ඒ අතරම මේ සම්බන්ධව කෙටුම් පතකුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා
ඒ පිලිඹඳව වාද විවාදත් සිදුවෙමින් යනවා. මේ සියලු දේ ගැන අවධානය යොමු වෙන අතරේ එහි
මුලික අරමුණ ලෙස ශ්‍රී ලංකාව තුල ප්රජාතන්ත්රවාදය මිට වඩා හොඳින් ස්ථාපනය විය යුතුය යන්න මේ කතිකා වල ප්‍රධාන
අරමුණක්.
කවුරු මොනවා කියුවත් කෙරුවත් ශ්‍රී ලංකික අපි සැම
දෙනෙක්ම ප්රජාතන්ත්රවාදයට ආදරය කරණ ජනකොටසක්. මොන විදිහට අර්ථ නිරුපන කලත් 1971, 1989 භීෂණ සමය හා වසර 30 ක් අතිශය දරුණු ත්රස්තවාදයට එරෙහි යුද්දයත් කල
සමයේ රට පාලනය ගෙන යනු ලැබුවේ මහජන චන්දයෙන් පත්වූ පිරිසක් බව අමතක නොකළයුතු ය.
(සමහර කාල වල චන්ද ප්‍රචණ්ඩත්වයෙන් ලබා ගත බවට, ඇසින් දුටු හා තහවුරු වූ සාක්ෂි බොහෝයි.) මේ සියලු තත්වයන් හමුවේ
විශේෂයන් ආරක්ෂක හමුදා වල ඇති විනය පිළිඹඳව අපිට සැබෑවටම සතුටු විය හැකියි. අප දන්නා ලක් ඉතිහාසයේ එකම එක වතාවක පමණක්
හමුදා කුමන්ත්රණයක උත්සහයක් තිබුනත්, හමුදාවෙම සහයෙන් එයත් ලත් තැනම ලොප් කරන්නට
හැකිවීම, ප්රජාතන්ත්රවාදය පිළිඹඳව ඉතිහාසය තුල අප ලැබූ සුවිශේෂ ජයග්‍රණයක් බව මේ
වන විට, අප හිතාමතාම අමතක කොට ඇත. එනිසා 1948 සිට අඛණ්ඩවම අඩු වැඩි වශයෙන් ප්රජාතන්ත්රවාදය
බුක්ති විදින්නට හැකිවීම අප සැමගේ ජයග්‍රහණයකි.
අප මේ වන විට ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම
පිළිඹඳ කරණා වලදී සියලු අණ පනත් යොමු වි ඇත්තේ රජය හා එහි පාලනය පිළිඹඳව හා තවත් ඒ
හා බැඳී අනිකුත් කරණා ගැනය. ප්රජාතන්ත්රවාදයට අනුකුල ලෙස අපි අපේ රට පාලනය කිරීම
සඳහා සුදුස්සන් තෝරා පත්කර ගනු ලබන්නේ දේශපාලන පක්ෂ තුලින්ය. මේ අනුව අපි අපේ රටේ
පාලනය භාරදෙන්නේ දේශපාලන පක්ෂ වලටය. මේ
අනුව ප්රජාතන්ත්රවාදය අනුව රට ආණ්ඩු කිරීමට භාර ගන්නා දේශපාන පක්ෂ තුලද ප්රජාතන්ත්රවාදය
තහවුරු විය යුතුමය.
අද තිබෙන පක්ෂ දේශපාලන ක්‍රමය යටතේ පක්ෂ ව්‍යවස්ථාවක්
සම්මත කරගෙන එහි සිටින නායකයන් සදහටම නායකයක් ලෙස කටයුතු කරෙගෙන යන බවට අපට ඇති
සාක්ෂි එමටයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය බණ්ඩාරනායකලාට සින්න වි තිබු අතර ඒ නිසාම පවුලෙන් පිට අයෙකුට එහි
නායකකම ලබා නොදී සිටීම නිසා විපක්ෂයේ සිටින්නට ඔවුන්ට සිදුවිය. ඒ අතර සේනානායක ලටම
සින්න වීමට ගිය එක්සත් ජාතික පක්ෂය ජේ ආර් ජයවර්ධන විසින් වෙනස් කල බව අපි දනිමු. 2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බණ්ඩාරනායක පවුලෙන් ඉවත් කළේය. 1994 සිට රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම චන්ද පරාද
වුවත් විවිද උපාය මාර්ග හරහා සිය පක්ෂ නායකත්ව තනතුර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට
යයි. මේ අතරම මහින්ද රාජපක්ෂ තම අතින් ගිලිහුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය,
මෛත්‍රිපාල සිරිසේන ගෙන් ලබා ගැනීමට උත්සහ කරමින් සිටින බව රහසක් නොවේ. මිට අමතරව
දෙමල, මුස්ලිම් පක්ෂ, විප්ලවවාදී හා සියලු සමාජවාදී පක්ෂ නායකයන් ද සදහටම මැරෙන තුරු නායකයන්ය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි
සෝමවංස අමරසිංහ සිය නායකත්වය අනුර කුමාරට භාර දීම
පැසසිය යුතුය. එසේම මොන හේතුවක්
නිසා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ලෙස පත් වන්නා, සිය පක්ෂයේ නායකයා
වන්නේය යන්න සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුල් කිරීම නිසා මෛත්‍රිපාල සිරිසේන අද ශ්‍රීලනිප
යේ නායකයා වීමද අලුතම ප්රවණතාවකි.
අප ප්රජාතන්ත්රවාදය පිළිඹඳව උනන්දු වන්නේ නම්,
දේශපාලන පක්ෂ වල නායකයින් පත් වීම, එහි දුර කාලය , ජනාධිපති වරණ යට අපේක්ෂයින් පත්
කිරීම, පාර්ලිමේන්තුව මැතිවරණ වලට අපේක්ෂයකයින් පත් කිරීම සඳහා කටයුතු සිදුකල යුතු ආකාරය පිලිබඳව නියමයන්/ක්‍රම
වේදයන්/ නිර්නායකයන් ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවට
අඩංගු විය යුතුමය. මන්ද ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට ආණ්ඩු බාරගැනීමට සැරසෙන
දේශපාලන පක්ෂ තුල ප්රජාතන්ත්රවාදය නොමැති නම් ,
එවන් අයගෙන් රටේ ප්රජාතන්ත්රවාදය බලාපොරොත්තු විය නොහැකිය. අද පවතින ක්‍රමය අනුව, පාක්ෂිකයන්ගේ එකඟතාවය
තිබුනත් නැතත් දිගින් දිගටම නායකත්වයේ රැඳී සිටීමට ඔවුනට හැකියාව ඇත්තේ පක්ෂයේ ව්‍යවස්ථාවේ
ඇති නියමයන් නිසාය. මේ අනුව සියලු පක්ෂවල
ව්‍යවස්ථාවන් වල මුලික කරුණු වලට අදාල නිර්නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
පැහැදිලිව සඳහන් විය යුතුය. මේ හරහා වඩා ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂ ව්‍යුහයක්
ඇති කිරීමට අපිට හැකිවෙනු ඇත.
මේ පිළිඹඳව අද පවතින පක්ෂ නායකයන් හා ප්රජාතන්ත්රවාදය
වෙනුවෙන තරඟයට මෙන් උදේ හවස රුපවාහිනිය හා
මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරන කිසිවෙකුත් අවධානය යොමු කරනු ඇතැයි මා කිසි විටක
බලාපෙරොත්තු නොවෙමි. නමුත් ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුණු ඔබ මම හැම දෙනාම මේ
පිළිඹඳව කතිකාවතක් ඇති කළහොත් නුදුරු දිනක මෙය යථාර්තයක් කර ගැනීමට හැකි වනු ඇත.
බොහෝ පක්ෂ නායකයින් සිය බුදලය ලෙස පක්ෂය හැසිරවීම
බරපතල ලෙස ප්රජාතන්ත්රවාදය උල්ලංගණය කිරීමක් වන අතර එමඟින් රටේ ජනතා පරමාධිපත්‍යට
එල්ල වෙන්නේ මාරු පහරකි. අපේ රටේ දේශපානය හැසිරීමේ අයුර අනුව අවසානයේ රට පාලනය කරන්නේ එක්කෝ ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය මුලික වූ සන්ධානයක් හෝ එක්සත් ජාතික පක්ෂය මුලික වූ පෙරමුණකින්ය.
මෙහිදී ප්‍රධාන පක්ෂ තුල ප්රජාතන්ත්රවාදය තහවුරු වූ තිබීම රටේ නිතිය මෙන් වැදගත්
වුවත්, ඒ පිළිඹඳව අපිට පුරවැසියන් ලෙස ඇත්තේ ඉතා ඇල්මැරුණු උනන්දුවකි. ඔබ හෝ මම ප්‍රධාන පක්ෂ දෙකේ සාමාජිකයින් හෝ
අනුගාමිකයින වුවත් නැතත් මෙම කරුණ පොදුවේ ගත කල අපේ රටේ පාලනයට අතිශය බලපෑමත් ඇති
කරයි. මෙම කරුණට අදාල ක්‍රම වේදයන්,
නිර්නායකයන් හා අණ පණත් වල අන්තර්ගතය පිළිඹඳව කතිකාවතක් ඇති කිරීමට අන්තර්ජාලය
පිටුවහලක් වෙනු ඇත. අද අප මේ පිලිඹඳ ව උනන්දු වුව හොත්, ටික කාලයකින සැබෑවටම ප්රජතන්ත්රවාදය
වෙනුවෙන් වූ පක්ෂ දේශපලයක් ගැන සිහින මැවිය හැකිය. මේ ඒ සඳහා වූ හොඳම කාලයයි.
සම්පත්
ගොඩමුන්නේ
෴.