Friday, November 3, 2017

එල්ලීගෙන මා සුළඟිල්ලේ...


එල්ලීගෙන මා සුළඟිල්ලේ
හුරතල් වන්නේ කෙලෙස ඉතින්  
දිවිය පුරා ඔබේ හදේ රැදෙන්නට
වරම් ලබා දෙනු මැන පුතුනේ 

දහසක් පියවරු දහසක් දරුවන්
තුරුළු කරන් නිදනා  මොහොතේ
සිහිනයකට එක් වි මා එන්නම්
අවදි නොවී නිදියන් පුතුනේ

ගිනියම් වූ ඒ දෙරණ නිවන්නට
මා පියමං කල පෙර දිනයේ
දැනගෙන උන්නෙමි නුඹ සිටිනා බව
මවගේ කුස තුල සුව යහනේ

යලි නොඑනා බව
දැනගෙන උන්නත්
කෙලසක ආපසු
හැරෙනු කියන් . 




සම්පත් ගොඩමුන්නේ


ගායනය : අමරසිරි පිරිස්
සංගීතය : නවරත්න ගමගේ

සීරෝ (zero)  පුරාජේරුව

හතර අතේ වයස ගිහින් අවා ඉතින් ඊ පැක් 
කට්ටි දෙකක් එකට ආපු නිසා උනා සීරෝ(zero)  
අනික් උන්ට අපි කිව්වේ  උඹලා ඉතින් මයිනෝ
මොනා කරන්නද මල්ලියේ උන්නා එකට ෆුල් පැක්

හරිම සුන්දරයිනේ මචෝ රැග් සීසන් කලේ
පළමු දවසේ රාත්තිරිය මතකද බං රාලේ
මුණේ තිබ්බ උඩු රැව්ලත් කැපුවනේ රැ ජාමේ
ජේමාගේ ගොන් පාර්ට් අනේ සමරු ඵලක වගේ

කමලයාගේ සිල්වෙස්ටර් විප්ලවේ මතක් කරගන්
බස් දුසිමක් එක්ක ගියා රැ ජාමේ මල ගම්
පහු වෙනිදා ලෙක්චර් අපි කරලා ඉතින් කැන්සල්
ඩින් ලොක්ක බැනපු බනිලි ටිකක් මතක් කරපං

"හිනැහේවි බෝනික්කා" සූරියාගේ සින්දු
තිතටම මත ලබා දුන්නු දරය මගේ රූමා
හැම හට මඩ බෙදා  දුන්නු බිල්ඩා රටේ නැහැ දැන්
තඩියාගේ ශිෂ්‍ය සටන්  උඹලට මතකද බං

නෝනා පොල්ල දාල ඉතින් මේක (MECH) තෝරපු ජික්කා
සදහට දුක් සින්දු කියපු රෙන්ගා කොහෙද නෑ බං
"චේ" ත් භය උනානේ අනේ "තෙන්නේට" අපේ රැඩිකල්
වංසයාගේ "සියලු බැලන්ස්" වැඩත් අමරණීයයි


බොරු නොකිව්ව ගජයාගේ බින්න අලංකාරයි
වලවල් හොය හොයා  බැස්ස ප්‍රෝපා අපේ යාළු
කිසිදා වලවල් නොබස්ස කට්ටියකුත් හිටියා
Bsc අරගෙන උන් පැණිදෙණියෙන් බැස්සා

මඩ තලි තලි එකතු කරපු J ආරේයා මතකයි
කාටත් සමසේ සලකපු නෙල්ලි කැලේ ධර්මේ
මිල්ටන්ගේ සින්දු වලින් කණ පුරවපු ශේරිෆා
හීන් හඩින් සින්දු කියපු රාජ්ගේ බනඅහන්ඩ හරි ආසයි

කවදත් හිත හොඳට තිබ්බ,  පුසා අපේ මිතුරා
තඩියා එක්ක සංගමිත්තා පැදාපු හැටි මතකයි
කැම්පස් වැට මායිම් අපි සොයා බැලුවේ හවසයි
කොහොම උනත් ඒ කලේ මීට වඩා මාරයි

හැමෝ ගැනම කතා ලියන්නට මං හරි අසයි
අතලොස්සක් ගැන නම් මට ලියන්න හරි ලැජ්ජයි
තව සමහරු ගැන ලිව්වොත් පවුල් ප්‍රශ්න ඇතිවෙයි
අනේ ඉතින් තව ලිව්වොත් යාලුවෝ මට නැති වෙයි

එක එකාගේ පුරාජේරු 
කතා වැලට මතකයි
මේවා දිගට ලියන්න බෑ
මමත් ඉතිං වයසයි..............


සම්පත් ගොඩමුන්නේ

ආදරයේ පන්නරය

ප්‍රේමයේ වදන් වැල් 
පාවෙනා සුසුම් රැල්
නෙතට නෙත ගැටුණු තැන් 
නිමේශය පමණමයි

උණුහුමේ දැවටෙනා 
රාගයේ සිහිනයයි
ආදරයේ අරුත කීම 
සොයා ගිය කාලයයි

සිහිනයෙන් ඇවිද 
ගිය අඳුරු වූ මාවතේ
කිසිදිනෙක හමු නොවූ 
කිමද ඒ ආදරේ

අතීතයේ එක් දිනක 
නුහුරු නුපුරුදු බිමේ
සොයා ගත්තෙමි ඔබේ  
නිම නොවන ආදරේ

ආදරයේ පන්නරය 
ලබා දුන් මා සොඳුරි
ඔබට මම ආදරෙයි 
ආදරේම ආදරෙයි


සම්පත් ගොඩමුන්නේ
අප්පච්චි

හිතන්න බැරි දුර මාව රැගෙන ගිය
සැර වැර සෙනෙහස මා පින්වත් කල
නුඹම තමයි අප්පච්චි
අප්පච්චි.....

මගෙ  පැටවුන්ගේ වසත් ළමා විය
මටත් හොරා මා හැරයන මොහොතේ
කිසිදා නොගැයූ  ඔබේ ගීතයේ
පද වැල මා යළි මුමුනන්නම්

යා ගත නොහැකිව මඟ නැවතුන කල
නෑ බෑ නොකියූ ඔබේ ලෝකයේ
අරුමය විමසමි,  
මා සැමදා

මටත් වඩා මම ඔබට ආදරෙයි
මගේ ලෝකයේ,  නුඹ සක්විති බව

නුඹට දැනෙනවද අප්පච්චි


සම්පත් ගොඩමුන්නේ
ඇල්කොහොල්


ඇල්කොහොල් ඇල්කොහොල්   
උඹ කොහොල්ලෑ වගෙයි
ඉමක් නැ කෝණක් නැ
හතර අත ඇලෙනවා


මී විතක් සේ ඇවිත්
ආත්මය ගිල දමා
උදේ රැ දවල් නෑ
සිතෙන් නැ දැනෙන් නැ

ජීවිතය මා එක්ක 
බොහෝ විරසක වෙලා
හිටින්නේ කෙලෙසකද
සියළු දේ බොඳ වෙලා

තවත් නම් හිඳිනු බැහැ 
උඹේ මේ දඬු කඳේ
අනේ මම වඳින්නම් , 
දියන් මගේ ජීවිතේ

අතීතයේ මිතුරු දම් 
අතීතයටම තියා
ඇල්කොහොල් ඉඳිමු 
අපි සදහටම වෙන්වෙලා


සම්පත් ගොඩමුන්නේ

කවිය අද...

දිවිය පුරා මා 
හඳ බැඳී සිත්තම්
පදවැල් ගෙතුවෙමි 
ලොවට හොරා

ගීයක පද ලෙස 
මුමුණමි කෙලෙසක
පීරමී සොයමින්
 රිද්ම රටා

රිද්මයක හා 
හඬක අරුමය
ලක්ෂ්මිය  හා 
සෙනෙහසින්

සරස්වතියේ කඳුළු නොසලන්
කවිය කවදත් ඔබ ලඟයි....



සම්පත් ගොඩමුන්නේ
එදා ඇඳි රතු කමිස  ..............

එදා ඇඳි රතු කමිස
නිල් වෙලා
කොළ වෙලා
සම හරක් කළු වෙලා
අනේ තව සම හරක් මඩ වෙලා

දැකත්ත  හා මිටිය
අද දෙකට වෙන්වෙලා
සිහින දුටු සමාජය
සිහිනෙටත් නැති වෙලා

“පරාර්ථයේ සොයුරෝ”  දිවි මඟින් සමු අරන්
කට්ට කයිරාටිකයෝ වේදිකා බදු අරන්


සම්පත් ගොඩමුන්නේ
සර්වජන චන්ද ක්‍රමයේ අපි නොදැක්ක පිළිකාවට පමා නොවී ප්‍රතිකාර කරමු 

දේශපාලන පක්ෂ වල නායකයින් පත් වීම, එහි දුර කාලය , ජනාධිපති වරණ යට අපේක්ෂයින් පත් කිරීම, පාර්ලිමේන්තුව මැතිවරණ වලට අපේක්ෂයකයින් පත් කිරීම  සඳහා  කටයුතු සිදුකල යුතු ආකාරය පිලිබඳව නියමයන්/ක්‍රම වේදයන්/ නිර්නායකයන්   ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවට අඩංගු විය යුතුමය. 

මේ දවස් වල  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම හෝ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම ගැන බොහෝ තැන වල කතා වෙනවා ඒ අතරම මේ සම්බන්ධව කෙටුම් පතකුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඒ පිලිඹඳව වාද විවාදත් සිදුවෙමින් යනවා. මේ සියලු දේ ගැන අවධානය යොමු වෙන අතරේ එහි මුලික අරමුණ ලෙස ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය මිට වඩා  හොඳින් ස්ථාපනය විය යුතුය යන්න මේ කතිකා වල ප්‍රධාන අරමුණක්.
කවුරු මොනවා කියුවත් කෙරුවත් ශ්‍රී ලංකික අපි සැම දෙනෙක්ම ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරණ ජනකොටසක්. මොන විදිහට අර්ථ නිරුපන කලත් 1971, 1989 භීෂණ සමය හා වසර 30 ක් අතිශය දරුණු ත්‍රස්තවාදයට එරෙහි යුද්දයත් කල සමයේ රට පාලනය ගෙන යනු ලැබුවේ මහජන චන්දයෙන් පත්වූ පිරිසක් බව අමතක නොකළයුතු ය. (සමහර කාල වල චන්ද ප්‍රචණ්ඩත්වයෙන් ලබා ගත බවට, ඇසින් දුටු හා තහවුරු වූ  සාක්ෂි බොහෝයි.) මේ සියලු තත්වයන් හමුවේ විශේෂයන් ආරක්ෂක හමුදා වල ඇති විනය පිළිඹඳව අපිට සැබෑවටම සතුටු විය හැකියි.  අප දන්නා ලක් ඉතිහාසයේ එකම එක වතාවක පමණක් හමුදා කුමන්ත්‍රණයක උත්සහයක් තිබුනත්, හමුදාවෙම සහයෙන් එයත් ලත් තැනම ලොප් කරන්නට හැකිවීම, ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹඳව ඉතිහාසය තුල අප ලැබූ සුවිශේෂ ජයග්‍රණයක් බව මේ වන විට, අප හිතාමතාම අමතක කොට ඇත. එනිසා 1948 සිට අඛණ්ඩවම අඩු වැඩි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විදින්නට හැකිවීම අප සැමගේ ජයග්‍රහණයකි.
අප මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිළිඹඳ කරණා වලදී සියලු අණ පනත් යොමු වි ඇත්තේ රජය හා එහි පාලනය පිළිඹඳව හා තවත් ඒ හා බැඳී අනිකුත් කරණා ගැනය. ප්‍රජාතන්ත්‍රවාදයට අනුකුල ලෙස අපි අපේ රට පාලනය කිරීම සඳහා සුදුස්සන් තෝරා පත්කර ගනු ලබන්නේ දේශපාලන පක්ෂ තුලින්ය. මේ අනුව අපි අපේ රටේ පාලනය භාරදෙන්නේ දේශපාලන පක්ෂ වලටය.  මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය අනුව රට ආණ්ඩු කිරීමට භාර ගන්නා දේශපාන පක්ෂ තුලද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු විය යුතුමය.
අද තිබෙන පක්ෂ දේශපාලන ක්‍රමය යටතේ පක්ෂ ව්‍යවස්ථාවක් සම්මත කරගෙන එහි සිටින නායකයන් සදහටම නායකයක් ලෙස කටයුතු කරෙගෙන යන බවට අපට ඇති සාක්ෂි එමටයි.   උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායකලාට සින්න වි තිබු අතර ඒ නිසාම පවුලෙන් පිට අයෙකුට එහි නායකකම ලබා නොදී සිටීම නිසා විපක්ෂයේ සිටින්නට ඔවුන්ට සිදුවිය. ඒ අතර සේනානායක ලටම සින්න වීමට ගිය එක්සත් ජාතික පක්ෂය ජේ ආර් ජයවර්ධන විසින් වෙනස් කල බව අපි දනිමු. 2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය  බණ්ඩාරනායක පවුලෙන් ඉවත් කළේය. 1994 සිට රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම චන්ද පරාද වුවත් විවිද උපාය මාර්ග හරහා සිය පක්ෂ නායකත්ව තනතුර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යයි. මේ අතරම මහින්ද රාජපක්ෂ තම අතින් ගිලිහුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය, මෛත්‍රිපාල සිරිසේන ගෙන් ලබා ගැනීමට උත්සහ කරමින් සිටින බව රහසක් නොවේ. මිට අමතරව දෙමල, මුස්ලිම් පක්ෂ, විප්ලවවාදී හා සියලු සමාජවාදී  පක්ෂ නායකයන් ද  සදහටම මැරෙන තුරු නායකයන්ය.  මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටි සෝමවංස අමරසිංහ සිය නායකත්වය අනුර කුමාරට භාර දීම  පැසසිය යුතුය.  එසේම මොන හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ලෙස පත් වන්නා, සිය පක්ෂයේ නායකයා වන්නේය යන්න සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුල් කිරීම නිසා මෛත්‍රිපාල සිරිසේන අද ශ්‍රීලනිප යේ නායකයා වීමද අලුතම ප්‍රවණතාවකි.
අප ප්‍රජාතන්ත්‍රවාදය පිළිඹඳව උනන්දු වන්නේ නම්, දේශපාලන පක්ෂ වල නායකයින් පත් වීම, එහි දුර කාලය , ජනාධිපති වරණ යට අපේක්ෂයින් පත් කිරීම, පාර්ලිමේන්තුව මැතිවරණ වලට අපේක්ෂයකයින් පත් කිරීම  සඳහා  කටයුතු සිදුකල යුතු ආකාරය පිලිබඳව නියමයන්/ක්‍රම වේදයන්/ නිර්නායකයන්   ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවට අඩංගු විය යුතුමය. මන්ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ආණ්ඩු බාරගැනීමට සැරසෙන දේශපාලන පක්ෂ තුල ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නම් ,  එවන් අයගෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු විය නොහැකිය.  අද පවතින ක්‍රමය අනුව, පාක්ෂිකයන්ගේ එකඟතාවය තිබුනත් නැතත් දිගින් දිගටම නායකත්වයේ රැඳී සිටීමට ඔවුනට හැකියාව ඇත්තේ පක්ෂයේ ව්‍යවස්ථාවේ ඇති නියමයන් නිසාය.  මේ අනුව සියලු පක්ෂවල ව්‍යවස්ථාවන් වල මුලික කරුණු වලට අදාල නිර්නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් විය යුතුය. මේ හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ ව්‍යුහයක් ඇති කිරීමට අපිට හැකිවෙනු ඇත.
මේ පිළිඹඳව අද පවතින පක්ෂ නායකයන් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන තරඟයට මෙන්  උදේ හවස රුපවාහිනිය හා මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරන කිසිවෙකුත් අවධානය යොමු කරනු ඇතැයි මා කිසි විටක බලාපෙරොත්තු නොවෙමි. නමුත් ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුණු ඔබ මම හැම දෙනාම මේ පිළිඹඳව කතිකාවතක් ඇති කළහොත් නුදුරු දිනක මෙය යථාර්තයක් කර ගැනීමට හැකි වනු ඇත.
බොහෝ පක්ෂ නායකයින් සිය බුදලය ලෙස පක්ෂය හැසිරවීම බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංගණය කිරීමක් වන අතර එමඟින් රටේ ජනතා පරමාධිපත්‍යට එල්ල වෙන්නේ මාරු පහරකි. අපේ රටේ දේශපානය හැසිරීමේ අයුර අනුව  අවසානයේ රට පාලනය කරන්නේ එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික වූ සන්ධානයක් හෝ එක්සත් ජාතික පක්ෂය මුලික වූ පෙරමුණකින්ය. මෙහිදී ප්‍රධාන පක්ෂ තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ තිබීම රටේ නිතිය මෙන් වැදගත් වුවත්, ඒ පිළිඹඳව අපිට පුරවැසියන් ලෙස ඇත්තේ ඉතා ඇල්මැරුණු උනන්දුවකි.  ඔබ හෝ මම ප්‍රධාන පක්ෂ දෙකේ සාමාජිකයින් හෝ අනුගාමිකයින වුවත් නැතත් මෙම කරුණ පොදුවේ ගත කල අපේ රටේ පාලනයට අතිශය බලපෑමත් ඇති කරයි.  මෙම කරුණට අදාල ක්‍රම වේදයන්, නිර්නායකයන් හා අණ පණත් වල අන්තර්ගතය පිළිඹඳව කතිකාවතක් ඇති කිරීමට අන්තර්ජාලය පිටුවහලක් වෙනු ඇත. අද අප මේ පිලිඹඳ ව උනන්දු වුව හොත්, ටික කාලයකින සැබෑවටම ප්‍රජතන්ත්‍රවාදය වෙනුවෙන් වූ පක්ෂ දේශපලයක් ගැන සිහින මැවිය හැකිය. මේ ඒ සඳහා වූ හොඳම කාලයයි.

සම්පත් ගොඩමුන්නේ

.

සර්වජන චන්ද ක්‍රමයේ අපි නොදැක්ක පිළිකාවට පමා නොවී ප්‍රතිකාර කරමු  දේශපාලන පක්ෂ වල නායකයින් පත් වීම, එහි දුර කාලය , ජනාධිපති වරණ යට අපේක්ෂයින...